මුතුකුමාරණ මිස් සහතික කළ මගේ අනාගතය....


මේ සිද්දිය උනේ මම ඉස්කෝලෙ ගිය නවය වසරෙදි.

"නාහෙට නාහන ඇට්ටර කොල්ලෙක්"

අංශ ප්‍රධානී ඉදල හැම ගුරුවරයෙක්ම මට දීලා තිබුනු චරිත සහතිකය ඒක.


ගමේ ඉස්කෝලෙක ඉදලා ශිෂ්‍යත්වෙ පාස් වුන වැ‍රැද්දට ගාල්ලෙ ලොකු ඉස්කෝලයක් කියපු කොන්ක්‍රීට් වනාන්තරේට අවට පස්සෙ හොදයි කියල හිතුනු හැම දෙයක්ම වෙනස් වුනා..ඒ ගමේ පරිසරය,දුව පැනපු වෙල් ඉපනැලි,වැල් වල එල්ලිලා වැල් පැදපු කාලෙ,කොට්ටම්බා තලාගෙන කාපු,ඉස්කෝලෙ පිටිපස්සෙ කැලේ බංකර් හදාගෙන වෙඩි තියාගත්ත ඒ සුන්දර කාලෙට තිත තියන්න උනා....


ලොකුයි කියාපු ඒ අලුත් ඉස්කෝලේ අපෙන් බලාපොරොත්තු වුනේ නීට් එකට වැඩ කරන,පිරිසිදුවට කීකරුව ඉන්න විනයානුකූල ළමයි ටිකක්.ඒ ගොල්ලො හොද ළමයි කීවේ ඒ වගේ අයට.අපිට නම් කවදාවත් හොදයි කියලා ඒ ගොල්ලන්ගෙන් වැරදිලාවත් කියවුනේ නැහැ.කොහොමත් තිබුනු කෙලිලොල් දඩබ්බර කම නිසාම පංති කාමරයක පාඩුවේ ඉන්නවා කියන දේ පට්ට බෝරිං වෙලයි තිබුනේ.

නවය වසරේ මේ කාලෙ වෙනකොට වෙනදට වඩා කොල්ලොන්ගෙත් අමුතුම වෙනසක්.නීට් එකට ඉන්න ට්‍රයි කරනවා,වැරදි වලට මාට්‍ටු නොවී ඉන්න බලනවා,කට්ටිය සෙට් බහින්න පටන් ගන්නවා,කෑලි ට්‍රයි කරනවා.අමුතුම වැඩ ගොඩයි.බහුතරයක් හිතින් තමා පෙම් කලේ.කොල්ලො නවයෙදි පොඩි වුනාට අපේ වයසෙ කෙල්ලොනම් අපි වගේ දෙකක් විතර ලොකු වෙලා.ඇගපතේ වෙනස නිසාද කොහෙද හිතින් ඇරෙන්න ළගට ගිහින් පොර සේ ටෝක් කරන්න බහුතරයකට ගටක් තිබුනෙම නෑ.

ඔන්න ඔය කාලෙ තමා කොල්ලොන්ගෙ බෑග් වල සෙන්ට් කුප්පි,පනා,කන්නාඩි වගේ බියුටි උපකරන තිබුනේ.ඒත් මොන මගුල නිසාද මංදා විනය භාර සර්ට නම් මේ දේවල් ඇල්ලුවෙම නෑ.ඒ නිසාම සතියකට දෙසැරයක්,තුන් සැරයක් පංති චෙක් කිරීමක් නම් වැරදුනේම නෑ.

ෆ්‍රිෆෙට්ලා එක්ක එන මේ මස් වැද්දා(විනය භාර සර් ගේ නිළ නාමය) ඇවිල්ලා බලන්නෙ මේ දේවල් වුනාට අහුවෙන්නෙ ගිනිපෙට්ටි,ලයිටර්(සිගරට් නම් මතක විදියට කා ගාවින්වත් අහු වුනේ නෑ),ෆ්ලොපි ඩිස්ක(අද වගේ පෙන්,dvd, තිවුනෙ නෑ නොවැ),මැගසින් තමා.මැගසින් කීවට ඔවා පොඩිහිටියන්ට තහනම් ඒවද කොහෙද..(ඕං මං නම් ඕවට සම්මාදන් නෑ හොදේ.)

ඔයින් එකක් අහුවුනා කියන්නේ උන්ට රටක් රාජ්ජයක් අල්ල ගත්තා වගේ.කොල්ලා බයවෙලා වෙව්ලද්දි උන් වීරයෝ වගේ.යකෝ දීපල්ලකො සමාවක් හෙට අනිද්දා රට භාරගන්න ඉන්න වැඩිහිටියො කියලවත්.උන් ඒව අරගෙන ගිහින්,උනුත් ඒවා හොදට බලලා දෙමව්පියන්ටත් දැනුම්දෙන එක තමා උන්ගෙ ආතල් එක.



ඒ දවස් වල අපේ සෙක්ශන් හෙඩා තමා ඔය මුතුකුමාරණ මිස් කියන්නේ.මට ඉතින් ඔය කාලෙ කෑලි සීන් තිබුනෙ නැතත් වෙලවට කලින් ඉස්කෝලෙන් පනින එකේ නම් ආතල් එකක් තිබුනා.වෙලාවට කලින් පැන්න වුනත් ගෙදර නම් යැවෙන්නේ ඒ වෙලාව වගේ තුන් හතර ගුනයක්  පරක්කු වෙලාම තමා.

ඔහොම ඉතින් දිනපතා පනින්න බැරි උනත් ගොඩක් දවස් වල අනිවා පනිනවාම තමා.ටොයිලට් එක උඩින් එහා පැත්තෙ මැටි පාරට,බයෝ ක්ලාස් එක ගාව උස තාප්පෙන් පල්ලිය දිහාට,ඩෙන්ටල් එක ගාවින් කන්දෙවත්ත පාරට වගේ මර්මස්ථාන කීපයක්ම තිබුනා අපිට පනින්න.

එදා ඉන්ටවල් එකෙන් පස්සෙ දිගටම කැරකුනත් මොකක් හරි නිසා මේ එක තෙනක් වත් හරියට අපිට සෙට් උනේම නෑ.එක්කෝ ෆ්‍රිෆෙටෙක්, සර් කෙනෙක්,නැත්නම් මොකෙක් හරි බායියෙක්(කේලමෙක්). ඉතින් එදා දවසම මුස්පේන්තුවෙන් තමා ගත කලේ.පනින්න වුනෙත් නෑ නොවැ.

ඔහොම ඉන්නකොට ඉස්කෝලෙ අවසන් රිංග් එකත් වැදුනා.දැන් ඉතින් "යෝ වද තංපව" කියලා දෙවි පිහිටෙන් යන්නයි තියෙන්නෙ.ඒ යන එකත් ගේමක්.දිගට දීගේ තියෙන පෝලිමේ වාත වෙලා,පෝලිම් පැනල අහුවෙන්නෙ නැතිව පරිස්සමින් ඉස්කෝලෙ ගේට්‍ටුව ගාවට වෙනකම් යන්න ඕන.ඊට පස්සේ අපේ ඩිසිප්ලින් හදල තිවුනෙ ගෙට්‍ටුව පහු වුන හැටියෙම පොඩි ඇයෝ තල්ලු කරලා දාල ගාල කඩා ගත් හරක් ‍රැල වගේ දුවන්නයි.

මේ ගාථා ප්‍රොසීඩියර් එක ඉතින්බෝරිං නිසාම එදා රිංග් එක වැද්දා විතරයි,චතුවත් එක්ක බෑග් එකත් කරෙ එල්ලන් තප්පරෙන් දෙකෙන් නැවතුනේ බයෝ ක්ලාස් එකේ උස තාප්පෙ ගාව.

විසිකරා බෑග් එක තප්පෙට උඩින්,දුන්නා ජම්පර් ගේමක් තාප්පෙන් එහා පැත්තට,අනිත් උන් ගාථා කියන්නත් කලින්ම අපි ස්ටෑන්ඩ් එකේ.

ඒත් අපේ වාසනාව...හෙඩ් කෝට් එකේ ඉදන් දෙයියනේ කියලා අපේ හෙඩා මේ ක්‍රියාන්විතේ හොදට නිරීක්ශනය කරලා.කොට කලිසම් ගහපු පොඩිවුන් දෙන්නෙක් මීටර් තුනකටත් වඩා උස  තාප්පෙන් දාපු ජම්ප් එකදිහා බොහෝම අහිංසක විදියට බලාන ඉදලා.

පස්සේ දවසේ උදේම අපි මිස්ගේ ඔ‍ෆිස් එකේ.බනිනවා බනිනවා ඉවරයක් නැහැ. මොනා කීවත් අපි අහිංසක සමනලයො වගේ බිම බලාගෙන.

"තමුසෙලා වගේ මිනිස්සු තමා කවදාහරි ත්‍රස්තවාදියෝ වෙන්නෙ.."
තරහ වැඩි කමට මිස් වෙව්ලනවත් එක්ක.

මට ඇහුනු,තේරුනු එකම දේ එච්චරයි.මොකද  ඒකාලෙ රටේ තිබුනු පසුබිමත් එක්ක ත්‍රස්තවාදියෝ කියන්නෙ කවුද කියලා හොදට දැනගෙන ඉදියා.ඉතින් ඒ අනාගත වරෙන්තුවත් එක්ක එදා දවසෙම ඔ‍ෆිස් එක ගාව දන ගහගෙන ඉදියා.

අවුරුදු කීපයකට පස්සෙ මුතුකුමාරණ මිස් විශ්‍රාමගියා.ඒ අපෙ ඉස්කෝලෙ නියෝජ්‍යය විදුහල්පතිනියක් විදියට.ඒ අතරේ ඕනතරමක් පොදුවේ අපිව අමතලා,කථාකරලා තියෙනවා.ඒ හැම දේටම වඩා එදා පෞද්ගලිකව අපිට දීපු අනාගත වාක්‍යය ලොකු ඇතුලෙ අදහසක් තියෙනවා කියලා අද මට හිතෙනවා.

ඔව් මේවෙනකොට අවුරුදු ගානක් ගතවෙලා.ඒත් මට තාමත් ඒඅනාගතය ළගාකරගන්න බැරිවුනා.අදටත් මට වුවමනා කරන අනාගතයත් ඒකම තමා.ත්‍රස්තවාදියෙක් වෙන්න.ඔව් කවදාවකම හරි......

3 comments:

  1. මටත් ඔහොම කියලා තියෙනවා අයියේ ඒ 6 වසරෙදි ලව් ලියුමක් ලියන්න අදහස් දුන්නා කියලා...අයියගේ අහිංසක බලාපොරොත්තුව ඒ විදියටම මල් ඵල ගැන්විලා ෆිල්ම් එකක හරි ත්‍රස්ථවාදියෙක් වෙන්න ලැබේවා කියලා ඕං මම ප්‍රාර්ථනා කලා...

    ReplyDelete
  2. word notification එක නැතිකරන්න Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න

    ReplyDelete
  3. හික් හික් මගේ වැඩ කිඩ ඔක්කොම මම ගෙදර යන්න ඉස්සෙල්ලා ගෙදරින් දන්නවා..වේවැල්..පේර කෝ‍ටු..කොසු...ඉදල්...අම්මට අතට අහුවෙන දේ මගේ සරීරේ සිප ගත්ත වෙලාවල් අනන්තයි.....

    ReplyDelete