කඳුළු බිංදුවක හැඩය ගත් මේ දිවයිනේ සෙනඟ පිරුණු රාත්‍රී දුර බස් සංස්කෘතිය තරමක් අමුතුම එකකි. එම බස් වල ගැහැනු උදවිය දකින්නට ලැබෙනුයේ කලාතුරකිනි.වෙහෙස, දහදිය සහ වනචරකම පිරුණු පිරිමි ප්‍රාණීන් අතර ගැහැනියකට එහෙට මෙහෙට වෙමින් ගමන් කිරීම සිම්පල් ම නැත. මේ මා නුවර සිට නැවත පැමිනෙද්දී සිදුවුන සිදුවීමකි. හිටි හැටියේ මා ගමන් කළ බස් රථයට නුවරින් ගොඩවූයේ බසයම සුවදවත් කළ සුන්දර තරුණ යුවතියකි. ගැහැනු පුළුටක් නොවූ එම බසයේ ම අවධානය ඇය වෙත යොමු වූ සැටියකි.



බසය නුවර පාලම පසු කරමින් ඉදිරියටම ඇදෙයි.අපහසුවෙන් බසයේ මැදට පැමිණි ඇය දුරකථනයට වීර පිළිතුරු දෙමින් විචිකිච්චාවෙන් සිටියාය...කට කපා සෙනඟය. යාන්තම් ඉදගෙන සිටියෙකුට බෑග් එක දුන්නා ය.සියල්ල පටන් ගත්තේ එවිට ය. බටු ඇට දෙකක් උස නැති එකා උගේ අත ඇයගේ ඇගේ ගෑවෙන්නට තියාගත්තේය. ඇය ටිකක් මෙහාට විය. එතැන වාඩි වී හිටි එකා උගේ උරහිස ඇයට හේත්තු විය.ළග සිටි නාවර පෙරා ගත් පිරිමි දෙදෙනා ඇය දෙස කෑදර බැලුම් හෙලුවෝය.

නිදන්නට පෙර මෙම පෝස්ටුව දැමීම්ට පෙළඹ වූ එකා ඇයව නිරීක්ෂණය කරමින් සිටි බව වැටහුනේ එවිට ය.ඔහු වයස විසි ගණනක් පමණ වූ ප්‍රිය මනාප තරුණයෙකි. හේ වචනයෙන් කිසිත් නොකී ය.එහෙත් හෙමින් සැරේ ඇයට ඉඩ දී පසෙකට විය.කවුරුන් හෝ ඇය සමීපයට එන විට ඔහු ඇයට රැකවරණයක් විය.ඔහු ඇයට ඉඩදී එහාට වූයේය. මෙහාට වූයේය.සෙනග පිරුණු බසයේ ඇයට අපහසුවෙන් තොරව හිටගෙන යාමට හැකිවන පරිදි පසෙකට වූ ඔහු ඇය පිළිබඳ විමසිල්ලෙන් ද සිටිනු දුටුවෙමි.

පොල්ගහවෙල පසු කළ පසු ඇයට වාඩි වෙන්න ලැබිණි.නෙතු පියවුනේ ඉබේටම ය. ඇස් ඇර බැලූවිට ඔහු ඇය අසලම සිට ආරක්ශකයෙකු සේ සිටිනු දුටුවෙමි.

ඔහුට ඇය සමග කථා කිරීමට හෝ ඇයගෙන් ස්තුති පූර්වක බැල්මක් වත් වුවමනා නොවී ය. තම අක්කා වන් ඒ සුන්දර යුවතිය නොමිනිස් වනචාරීන්ගෙන් ආරක්ශා කිරීම ඔහුගේ අභිලාශය වූ බව හොදට ම වැටහිනි.
කථා කරනවා තියා නිකමටවත් හිනාවත් නොවූ හෙයිනුත්...., ස්තුති කරන්නේ මේකටයි කියා කිව හැකි යමකුත් නොවූ හෙයිනුත්..., බසිද්දී ඇය ඔහු දෙස මදහසක් පමණක් නගා බැස ගියා ය.

අද නුවර කොළඹ රාත්‍රී බසයක තද නිල් පාට ශර්ට් එකක් ඇද කොළඹ ආ මල්ලියේ උඹ හොද අම්මා කෙනෙක්ගේ පුතෙක් බව නම් අදහමි.

No comments:

Post a Comment