ලොසින්ජර වෙනුවට..

___තාර පාර දිග___
____පාට පාට කඩ____

මේ ගීතය අහද්දී මගේ මතකය තරමක් ඈතට දිව යනවා. ඒ එක්තරා කතාවක් නිසා. මේ ගීතය අහන හැම වතාවකම මේ සිදුවීම එක්ක ගීතයට තියෙන සම්බන්ධය මාව පුදුම කරනවා. මට වඩා ඉහළ පන්තියක හිටියා මගේ මිත්‍රයෙක්. මම ඔහුව අමල් නමින් හඳුන්වන්නම්. ( ඒ ඔහුගේ සැබෑ නම නොවේ ) අමල්ගේ අම්මා අමල් පොඩි කාලෙම දාලා යන්නේ ගර්භාෂගත පිළිකාවක් නිසා. එතකොට ඔහුට අවුරුදු හතරයි. අමල්ට හිටියා අක්කා කෙනෙක්. ඒ වෙද්දී අක්කාට අවුරුදු 14යි. ඒ කියන්නේ අමල්ට වඩා අවුරුදු දහයක් වැඩිමල්.

අම්මා නැතිවුණු තැන ඉඳන් අමල්ගේ හැම උවමනා එපාකමක්ම බැලුවේ ඒ ලොකු අක්කා. තාත්තා වැඩකළේ ෆැක්ටරියක. ඒ නිසා ඒ තාත්තට ගෙදර රැඳෙන්න තිබුණු ඉඩකඩ හරිම අඩුයි. ගෙදර ආත්තම්මා හිටියත් අමල්ගේ හැම දෙයක්ම හොයලා බැලුවේ අක්කා. ඉස්කෝලේ ගිහින් ආපු තැන ඉඳන් අමල් ගැන ඇහැ ගහගෙනම හිටියා. කැව්වා, පෙව්වා. කාලේ ගත වුණා. අමල් උස් මහත් වුණා. අක්කා තමන්ගේ ඉස්කෝලේ ගමන සාමන්‍ය පෙළින් නැවැත්තුවේ ගෙදර අගහිඟකම් නිසා. අක්කට අම්මා කෙනෙක්ගේ වගකීම වේලාසනම කර ගහන්න සිද්ධ වුණා. ඒ නිසාම අක්කා කෙනෙක්ට වැඩිය අම්මා කෙනෙක්ගේ ස්වරූපය අමල්ගේ අක්කට ආරෝපණය වුණා.


අමල් සාමන්‍යපෙළ පාස් වෙලා උසස් පෙළට ආපු කලේ තරමක් මුරණ්ඩු අයෙක් වුණා. විභාගේවත් පාස් කරගනියිද කියන සැකය එන තරමට අමල් රංචුවට වැටුණා. මේ හැමදේම අක්කට ඉව වැටුණා. මට මතකයි අමල්ගේ අක්කා ඉස්සර පන්ති ගාවට ඇවිත් මල්ලි පන්ති යනවාදැයි කියා රැකගෙන ඉන්නවා. අමල් මේවා දන්නවා. ඒ නිසා අක්කව මග ඇරලා කට්ටි පනින්න ඕන විදිහත් අමල් හොයාගත්තා.

හැබැයි දවසක් වැඩේ වැරදුණා. කොල්ලොත් එක්ක පාලු පාරකදී සිගරට් එකක් බීලා අමල් ටවුන් එක පැත්තට එද්දී අක්කට අහු වුණා. එදා දෙනෝදාහක් මිනිස්සු ඉස්සරහා අක්කා මල්ලිට එකම එක කම්මුල් පාරක් ගැහුවා. ගහලා කිවුවේ එකම දෙයයි. "අම්මා නැතුව මම උඹව බලාගත්තේ බොහොම අමාරුවෙන්. ඒ හන්දි ගානේ ඉඳන් සිගරට් බොන්න නෙමෙයි. වැදගත් මිනිහෙක් කරන්න" එහෙම කියපු අක්කා අඬ අඬාම ගෙදර ගියා. අමල් එතැනම ගල් ගැහිලා බලන් උන්නා. වටේ ඉඳපු කොල්ලෝ හෙමින් සැරේ මාරු වුණා. අමල් මට පස්සේ කාලෙක කිවුවා ඒ අක්කා මට ගහපු පළවෙනි සහ අන්තිම වතාව කියලා.

හැමදේම එතැන ඉඳන් වෙනස් වෙන්න ගත්තා. පළවෙනි වතාවේ අමල් විභාගේ පාස් වුණත් විශ්ව විද්‍යාලේ යන්න ලකුණු මදි වුණා. දෙවැනි වතාවේ ලංකාවේ ප්‍රමුඛපෙලේ විශ්ව විද්‍යාලයක කළමනාකරණ පිඨයට අමල්ට ඇතුලත් වෙන්න පුළුවන් වුණා. ඒ තමයි හැරවුම් ලක්ෂය. මේ හැමදෙයක්ම දිහා අක්කා හරි නිහතමානී සතුටකින් බලන් හිටියා. අමල් විශ්ව විද්‍යාලේ අවසන් අවුරුද්දේ ඉද්දි මහා අවාසනාවන්ත සිද්ධියක් සිද්ධ වුණා. අමල්ගේ අක්කාව මහ පාරේදී බස් රථයකට යට වුණා. අක්කා මැරිලා කියලා අමල් ගෙදර එනකල් දැනගෙන හිටියේ නෑ. ගෙදර එක්කන් ආවේ යාළුවො. ඒ වෙද්දී මිනිය ගෙදරට ගෙනැත් තිබුණා. අමල් සුදු කොඩි දකිද්දී හිතුවේ ඒ ආච්චි අම්මා කියලා. නෑ ඒ අක්කා කියලා දැනගද්දී අමල්ට සිහි නැතුව වැටුණා. එදා අමල් කෑ ගැහුවේ අක්කේ කියලා නෙමෙයි "අම්මේ" කියලා.

අද අමල් ප්‍රධාන පෙළේ මුල්‍ය සමාගමක අලෙවි විධායකයෙක්. ඒ තැන දැකගන්න අක්ක අද නැති වුණත් අක්කා එදා ඒ ගැන දැනගෙන ඉන්න ඇති. අමල් අදටත් අක්කා වෙනුවෙන් ධාන මාන පිංකම් කරනවා. අමල් මට පස්සේ කාලෙක කිවුවේ එක දෙයයි. "ලබන ආත්මෙක උපතක් මට ලැබුණොත් මං ප්‍රර්ථනා කරන්නේ මම අක්කගේ දරුවෙක් වෙලා ඉපදෙන්න කියල්ලා විතරයි"


තාරපාර දිග පාට පාට කඩ සල්පිල්  සෙවනැල්ලේ
ගිනි සුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ

රූප පෙට්ටි කෙලි සෙල්ලම් නගරය
කාසි තරගයට සූදු කෙළිනවා
ජීවිතයේ රණබිමට වඩින්නට
මලේ නුඹට කල දවසක් එන්නේ

බෝල ලොසිංජර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඹ දිගු ගමන දුවන්නේ

ගායනය    :     මාලනී බුලත්සිංහල
සංගීතය    :     ආනන්ද ගමගේ
පද රචනය :    ප‍්‍රණීත් අභයසුන්දර

No comments:

Post a Comment