සැනසුම සොයා....


සුදු මීදුම නිල්වන් කදුවැටිය වැළදගත් ගමන්ය.නාමල් සුවදින් සුවදවත් වූ මද පවන හීනයක් සේ මුමුන මුමුනා යයි..කෝකිල නාදයත් ,බබරුන්ගේ ගුමු ගුමුවත් එකට වෙලී පැටලී ඇත්ත සේය.මැදියම් ‍රැයේ වැ‍ටුනු පොද වැස්සෙන් පොළව තෙමී නැවුම් සුවදක් පතුරවයි. රන්වන් හිරු කිරණ තැවුරුනු බෝපත් , මිහිරියාව දෙගුන තෙගුන කරවයි..


"සුමේධ.."

පෙරදා සසුන්ගත වූ හිමියන්ගේ සුරතෙහි තිබූ ඉදල වහා නතර විය.


"අපේ හාමුදුරුවනේ.."

පොඩි හිමියන් ප්‍රතිඋත්තර බැදීමට කල ගත නොකලේය.

"දැන් ඉතින් පොඩි නම ඔහොම කල්පනා කර කර ඉදල බෑ.,ඉක්මනට විහාර මළුව අතුගාල වත්පිළිවෙත් පුරන්න ඕනෑ.. "

නාහිමියන්ගේ කරුණාබරිත වූ හඩ තම හදවතේ ගැස්මක් සමග ගෞරව සම්ප්‍රයුක්ත බවක් වඩාලයි.උදෑසන නැගිට ගෙමිදුල් පිරිමැදීම නුහුරු නුපුරුදු බව තමා දනී.දෙමපිය සෙවනේ වැඩුනු තමා ලද මහනකමද අපූර්වත්වයකින් යුක්තය.මහනවීමට ප්‍රථම ගෝලයෙකු සේ දිගුකලක් පංසලේ වත්පිලිවෙත් පිරිය යුතුය.එසේ නොකල තමාට සතියක් තරම් කෙටි කළකදී පැවිදිබව ලැබුනේ මහනවීමට දැඩි අධිෂ්ඨානය හා කැමැත්ත නිසාය.

අතට ගත් පොත පපුවට තුරුළු කරගනිමින් බෝ සෙවනට පැමිනි තමාට සිත එක්තැන් කර ගැනීමට නොහැකි වූයේ  කුමන බලවේගයකින්දැයි තමාටම සිතාගත නොහැක.සිත අතීතයට දිවගියේ නිතැතින්මය.

ඇය හමුවූයේ පාසලේ තෙවන වසරේ සිප්සතර හදාරන අවධියක සොදුරු මතකයන් අතරින්ය.සුන්දර ළමාවියේ ඇය සමග එකට සිප්සතර හැදෑරූ ඇය පිළිබදව ඇතිවූ පැහැදීම අචල සෙනෙහසක් බවට පෙරළුනේ සියල්ලන්ටම රහසේය.

තීරණාත්මක නව ජීවිතයකට ආශිර්වාද ලබමින් නගරයේ පාසලකට මාරු වුවද ඇය පිළිබද නොනිමෙන සෙනෙහසක් සිත කොනක ලැගුම්ගත්තා සේය.නගරයේ ක‍ටුක වූ ඝෝශාකාරී බව පරදවා සිත තුලසක්මක් කලේ ඇයගේ හඩබවයි.තැන්පත්බවයි.ඇයගේ ආදර්ශමත් චරිතය ඔස්සේ තමා අසරණ වූ සැටියකි.නිරන්තරයෙන් ඇයගේ රුව සෙවනැල්ලක් සේ සක්මන් කරද්දී තමා නිහඩවම ජීවිතය කියවූයේය.

හදිසියේ ඇය ගුප්ත වෙනසකට ලක් වූයේ දෛවයේ සරදමකට මෙනි.ඇයව ඔපවත් කල ගතිගුන දිනෙන් දින පිරිහී යද්දී නොපෙනෙන ඉමකට ඇයව ඈත් වෙද්දී හදවතින් හඩාවැ‍ටුනද වේදනාවට සහනයක් නොවීය.ඇය ජීවිතය ‍තෝරාගනිද්දී දුක,වේදනාව,කලකිරීම මගේ මුළු ජීවිතයම වීය.ඔව්..ඇය නිහඩය.එහෙත් ඒ නිහඩ බව වේදනාබරය.

නිතර නෙත ගැටෙන රජමහා විහරයේ දසුනින් සිතට යම් හෝ සැනසීමක් ලබාගත හැකිවීමි.කසාවන් සිවුරින් සැරසී බණ පොත් තුරුළු කරන් යන එන පුංචි තෙරුණ්වහන්සේලා තම සිත මදකට හෝ පහන් කිරීමට සමත් විය. උන්වහන්සේලා තුල වූ නිවුන සැනසුම ගෙන දෙන බව තම සිත පැහැර ගත්තේය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය වූයේ පාසල් වියේදීම පාසලට හා ගිහි කමට ආයුබෝවන් කීමය.

"පොඩි හමුදුරුවනේ..."

සුපුරුදු කටහඩක් සුමේධ හිමියන්ගේ සමාධිය මදකට සසල කලේය.පොතෙහි පි‍ටු අතර වැටී තිබූ කදුළු බින්දුව පිස දමමින් පොත වසා සමාධිගතව හැරී බැලුවේය.

"නදී.."

පොඩිහිමියන්ට පුදුමයකි.පොඩිහිමි ඇය දෙස ශාන්තව බැලුවේය.පොඩිහිමි ඉදිරියේ ඇය මොහොතක් ගොළුවිය.වෙනදා සිටින ඔහුද මේ..?ඇය තුල තේරුම් ගතනොහැකි පැනයකි.මුහුන පියකරුය.සැනසුම ගෙනදෙන පරිදිය.වචනවල ශක්තිය පොඩිහිමි ඉදිරියේ බොදවී යයි.නමුදු ඇය කථාකිරීමට තැත්කළාය.


"පොඩි සාදු..මට........"


පැවිදිබව අමතක වූ පොඩිහිමිගේ නෙතගට කදුලක් නැංවීමට ඒ හඩ ප්‍රමාණවත් විය.වැදවැ‍ටුනු ඇය දෙස තවදුරටත් බලාසිටිය නොහැකි වූ පොඩිහිමි බුදුගෙයි ශාන්තව දිදුලන බුදුහිමිගේ පියකරු වූ මුවමඩල වෙත නෙත් යොමුකලේය.


(2004.06.07 ; written ideologically)





1 comment: